අග්‍රාමාත්‍යතුමා ආගමික ගැටලූ පිළිබඳව තරුණ භික්‍ෂූන් වහන්සේලා සමග විශේෂ සාකච්ඡාක…

PM-1.jpg

වර්තමාන සමාජ හා ආගමික ගැටලූ පිළිබඳව තරුණ භික්‍ෂූන් වහන්සේලා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් 2017.07.12 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙහිදී තරුණ භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු පිළිතුරු ලබාදුන්හ.

අග්‍රාමාත්‍යතුමා සහ තරුණ භික්‍ෂූන් වහන්සේලා අතර පැවැති සාකච්ඡාව මෙසේය.

තරුණ භික්‍ෂූන් වහන්සේලා :- ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවීමට නියමිතයි. මේ ව්‍යවස්ථාව හරහා බෞද්ධයන්ට තිබෙන තැන අහිමි වෙනවා යැයි ප්‍රචාරයක් යනවා. එමෙන්ම රටේ ඒකීය බව නැති වන බවට ඇතැමුන් ප්‍රචාර පතුරනවා. මේ පිළිබඳව රජයේ මතය කුමක්ද?

අගමැති :- අප අලූත් ව්‍යවස්ථාව සකස් කරමින් සිටිනවා. කිසිම කෙනෙක් ඒකීය කියන වචනයට විරුද්ධ නැහැ. එමෙන්ම බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙන් කිසිවෙකුත් විරුද්ධත්වය පළ කර නැහැ. එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එම ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ලබා දීමට එකඟ වී සිටිනවා. ජනපති මෙන්ම මමත් ඒ බව තහවුරු කරනවා. එමෙන්ම බුදු දහමට ප්‍රමුඛතාව ලබාදෙන අතර සෑම ආගමකටම මදි පුංචිකම් නොවන ලෙස කටයුතු කිරීම අපේ අරමුණයි.

භික්‍ෂූන් වහන්සේලා :- නිකායන් පිළිබඳ ප්‍රශ්නවල දී කටයුතු කරන්නේ කෙසේද?

අගමැති :- අපට නිකායන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ නිකායන් ආරක්‍ෂා කර ගත යුත්තේ මහනායක ස්වාමීන් වහන්සේලා සහ කාරක සංඝ සභා එක්වයි. අපට ගිහින් ඒවාට ඇඟිලි ගහන්න බැහැ. එලෙස ආණ්ඩු නිකායන්වලට ඇඟිලි ගැසීම තහනම් කරන නීති ගෙන ඒම අපේ අරමුණයි.

භික්‍ෂූන් වහන්සේලා :- දඹුල්ල ලෙන් විහාරය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර පැතිරෙනවා. පන්සල් වහනවා, පිං කැටවලට සීල් තියනවා යනුවෙන් රටේ මතයක් ඇති වී තිබෙනවා. මේ සිදුවන දේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා :- පුරාවිද්‍යා ආ ඥා පනත අනුව දඹුල්ල ලෙන් විහාරය ආරක්‍ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම රජයේ ඉල්ලීමක් මත යුනෙස්කෝ සංවිධානය විසින් දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිසා දිනකට සංචාරකයන් තුන් හාරදහසක් පමණ මෙහි පැමිණෙනවා. එමෙන්ම පසුගිය කාලය පුරා මේ විහාරය සංරක්‍ෂණය කිරීමේ දැඩි ගැටලූවලට මුහුණ දී තිබුණා. මේ සංරක්‍ෂණ කටයුතු විධිමත් කරන්නැයි එම විහාරයේ ස්වාමීන් වහන්සේලාම මගෙන් ලිඛිතව ඉල්ලීම් කර තිබෙනවා.

අප පුරාවිද්‍යා උපදේශක සභාව රැස් කළා. මෙවැනි ප්‍රශ්නවල දී තීන්දු තීරණ දෙන්නේ පුරාවිද්‍යා උපදේශක සභාව විසිනුයි. එම උපදේශක සභාවට පුරා විද්‍යා කොමසාරිස්වරයා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ කොමසාරිස්, මහාචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන් ඇතුලූ පුරාවිද්‍යා විශේෂඥයින් විශාල පිරිසක් ඇතුළත් වෙනවා. දඹුල්ල ලෙන් විහාරය අවදානම් තත්ත්වයක තිබෙන බවත්, එය සංරක්‍ෂණය කළ යුතු බවත් එම උපදේශක සභාව තීරණය කළා. දඹුල්ල ලෙන් විහාරය සංරක්‍ෂණය කළ යුත්තේ යුනෙස්කෝ සංවිධානය දුන් කොන්දේසි අනුවයි. මා යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස ද කටයුතු කරනවා. මෙම ලෙන් විහාරයට පැමිණෙන සෙනග පාලනය කිරීම ඇතුලූ කොන්දේසි රැසක් ඊට ඇතුළත් වෙනවා. 2017 දෙසැම්බර් 01 වැනිදාට පෙර ලබා දී ඇති කොන්දේසි ඉටු කර වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකළහොත් 2018 වසරේ දී දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් වීමේ අවදානමක් තිබෙනවා. ලෝක උරුම නම් කරන්නේ ආවාට ගියාට නොවෙයි. ඇත්ත වශයෙන්ම ආරක්‍ෂා කළ යුතු ස්ථානයක් වන නිසයි. එම නිසා උපදේශක සභාව දුන් උපදෙස් අනුව කටයුතු කරමු යැයි මා ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා.

සංඝයා වහන්සේලා හමුවී මේ ගැන දැනුවත් කිරීමට උපදේශක සභාව තීරණය කර තිබෙනවා. මාධ්‍ය මගින් කරන ඇතැම් විකෘති කිරීම් නිසා මේ තත්ත්වය වෙනස් වී ඇති බව කිව යුතුයි. දඹුල්ල ලෝක උරුමයක් වශයෙන් තබා ගන්නවා ද, නැද්ද කියන කරුණ තීරණය වන්නේ අප ගන්නා ක්‍රියා මාර්ග අනුවයි.

භික්‍ෂූන් වහන්සේලා :- මෙය පුරාවිද්‍යාවට සම්බන්ධ කාරණයක් මෙන්ම ආගමික කාරණයක් බව කිව යුතුයි. දඹුල්ල ලෙන් විහාරය යනු අස්ගිරි පාර්ශ්වයට අයත් වන විහාරයක්. එම නිසා බුද්ධ ශාසන අමාත්‍යතුමා ද සම්බන්ධ කර ගෙන අස්ගිරි මහනාහිමියන් ද මුණගැසී ඒ හරහා මේ ප්‍රශ්නය විසදාගත හැකි නම් සුදුසු යැයි අපේ විශ්වාසයයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා :- මේ පිළිබදව බුද්ධ ශාසන ඇමැතිතුමාත් දැනුවත් කර තිබෙනවා. අස්ගිරි මහනාහිමියන් ද දැනුවත් කළා. මේ සතියේදීත් අස්ගිරි මහනාහිමියන් හමුවීමට මා තීරණය කර තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාත් උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. සංරක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා දඹුල්ල ලෙන් විහාරයට සෙනග පැමිණීම මදකට නවතා දමන්නැයි උපදේශක සභාව කියනවා නම් මා කරන්නේ කුමක්ද…? මා පුරාවිද්‍යා විශේෂඥයෙකු නොවෙයි. උපදේශක සභාවේ තීන්දුව ස්වාමීන් වහන්සේලාට දැනුම් දී ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. අපට වෙහෙර විහාරස්ථාන වසා දමන්න අවශ්‍ය නැහැ. ලෝක උරුමය ආරක්‍ෂා කිරීම රජයේ වගකීම බව කිව යුතුයි. අප පෙනී සිටින්නේ ඒ වෙනුවෙනුයි. අප හොද සිංහල බෞද්ධයන් බව කිව යුතුයි. මේ තත්ත්වය වෙනත් දිසාවකට ඇද ගෙන යාම ඉතා කණගාටුදායක තත්ත්වයක්. මේ වන විට මෙය දේශපාලන කාරණයක් බවට පත් කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දඹුල්ල සංවිධායකවරයා ද ස්වාමීන් වහන්සේලා සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමා සංවිධායක ධූරයෙන් ඉවත් වන්නට පවා සූදානම් යැයි කියමින් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන අයුරු දුටුවා. මෙතන කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නෑ. අප වෙහෙසෙන්නේ දඹුල්ල ලෝක උරුමයක් සේ දිගටම පවත්වාගෙන යන්නටයි. නමුත් දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් කිරීමට ස්වාමීන් වහන්සේලා එකඟ නම් අපට මෙයින් ඈත් වී සිටිය හැකියි. ස්වාමීන් වහන්සේලාගේ තීරණය මත ක්‍රියා කන්නට අප සූදානම්.

භික්‍ෂූන් වහන්සේලා :- දිවයිනේ විවිධ ප්‍රදේශවල පුරා විද්‍යා ස්ථාන විනාශ වන බව අපට අසන්නට ලැබුණා. උතුරු නැගෙනහිරත් එවැනි තත්ත්වයක් තිබෙනවා. මේ පිළිබදව ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා :- එහි සත්‍යයක් තිබෙනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා ස්ථාන සංරක්‍ෂණයට නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම කොමසාරිස්වරයාත් පසුගිය කාලයේ නිසියාකාරව රාජකාරී කළේ නැහැ. කොමසාරිස්වරයා සම්බන්ධවත් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තීන්දුවක් ගැනීමට සිදු වුණේ එම නිසයි.

සංරක්‍ෂණය කළ යුතු පුරා විද්‍යා ස්ථාන 2,50,000 කට වඩා අප රටේ තිබෙනවා. අප මෑත දිනක කඣරගලට ගොස් බෞද්ධ උරුමය ඇති ප්‍රදේශවල මායිම් ලකුණු කර ඒවා ආරක්‍ෂා කිරීමට කටයුතු කරනවා. රුවන්වැලි සෑයට බොහෝ කලකින් කිසිවෙකුත් අතගසා තිබුණේ නැහැ. ඒවා වල් බිහි වී විනාශ වී තිබුණා. අප රුපියල් කෝටි දෙකහමාරක් වියදම් කොට ඒවා සංරක්‍ෂණය කර අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නැවත සසුනට පූජා කරනු ලැබුවා. ලබන සතිය වන විට පන්සල් 150 ක් සංරක්‍ෂණය සදහා මුදල් ලබා දෙනවා. එමෙන්ම දුප්පත්ම පන්සල් 50 ක් සඳහා මුදල් පරිත්‍යාග ලබා දෙනවා.

දඹුල්ල ලෙන් විහාරයේ විදේශිකයන් සඳහා ටිකට්පත් මුද්‍රණය කිරීමේ අයිතිය පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද පිළිගත්තා. දඹුල්ලෙන් මාසයකට රුපියල් කෝටි 20 – 30 ක පමණ ආදායමක් ලබනවා. අපේ උත්සාහය වන්නේ භික්‍ෂූන් වහන්සේලා සඳහා ද අවශ්‍ය කරන මුදල් ලබා දී සෙසු මුදල් වෙහෙර විහාර සංරක්‍ෂණය සඳහා යෙදවීමටයි. අප මෙය කරන්නේ ශාසනාලයෙන් යුතුවයි. එය වරදවා තේරුම්ගත යුතු නැහැ. මේ මුදල්වලින් පන්සල් දහස් ගණනක් දියුණු කළ හැකියි. අප බෞද්ධයන් ලෙස හෘද සාක්‍ෂියට එකඟව මේ කටයුතු කරනවා.

භික්‍ෂූන් වහන්සේලා :- කතෝලික පල්ලියේ මුදල් ගණින්නේ නැහැ. හින්දු කෝවිලේත් මුදල් ගණින්නේත් නැහැ. පන්සලේ පිං කැටයේ පමණක් සල්ලි ගණින්නේ ඇයි දැයි අහනවා. මේ සමාජගත වී ඇති ප්‍රශ්නයක්.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා :- පිං කැට ප්‍රශ්නයත් මාධ්‍ය මගින් මතු කළ කාරණයක්. ඉතිහාසයේ සිට විහාර හා දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පිං කැට සීල් තබා ඒ මුදල් ගණනය කොට නැවත ස්වාමීන් වහන්සේලාගේ ගිණුමටම බැර කළා. ඒ මුදල් බෞද්ධ කටයුතු කොමසාරිස් හෝ ආණ්ඩුව ගන්නේ නැහැ.

අගමැති :- එම නීතිය ගෙන ආවේ ඩී.බී. ජයතිලක සහ ඩී.එස්. සේනානායක මහත්වරුන් විසිනුයි. ඔවුන් හොඳම බෞද්ධයන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

භික්‍ෂූන් වහන්සේලා :- සාම්ප්‍රදායිකව පැවැත ගෙන ආ ඇතැම් දේ අදට ගැලපෙන්නේ නැහැ. එම නිසා මහනායක හිමිවරුන්ගේ ද උපදෙස් සහිතව තරුණ භික්‍ෂූන් වහන්සේලා ඉලක්ක කර ගෙන ඔවුන්ගේ සේවය මීට වඩා රටට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව යටතේ සකස් විය යුතුයි. අනාගතයට ධර්මය අඛණ්ඩව රැගෙන යාම සඳහා ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බිහි වීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් ද ඔබගේ අවධානය යොමු වෙනවා නම් සසුනේ උන්නතියට එය හිතකර වනවා.

මෙම සාකච්ඡාව අවසානයේ වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා :

තරුණ භික්‍ෂූන් වහන්සේලා මෙම අවස්ථාවේ සාකච්ඡා කිරීමට වැඩම කිරීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. අද අප ජීවත් වන්නේ නුවර යුගයේ කෘෂිකාර්මික සමාජයක නොවෙයි. අනුරාධපුරයේ වාරි ශිෂ්ටාචාරයක නොවෙයි. අශෝක අධිරාජ්‍යයාගේ ආර්ථික යුගයේ නොවෙයි. කපිලවස්තු, මගධ, ගංගා නිම්න සමාජයේ නොවෙයි. බුදු දහම සත්‍ය බව තහවුරු කරන ශීඝ්‍ර දියුණුවක් ඇති වී තිබෙනවා. අද තිබෙන්නේ අප ඉපදුනු කාලයේ පැවැති සමාජය නොවෙයි. තවත් අවුරුදු 50 කින් තත්ත්වය මීටත් වඩා වෙනස් වෙනවා. එම සමාජය තුළ භික්‍ෂූන් වහන්සේලාගේ කාර්යභාරය කුමක්ද? ඒ සඳහා අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අලූතෙන් කල්පනා කළ යුතුයි.

මැතිවරණ සමයේ දී මමත් ඇතැම් යෝජනා ඉදිරිපත් කළා. එම යෝජනා ද ඉටු කළ යුතුයි. රටේ ණය බර නිසා වසර දෙකක් යන තුරු අපට බොහෝ දේ කරන්නට නොහැකි වුණා. නමුත් අද අපට අතපසු වූ බොහෝ දේ කළ හැකි වාතාවරණයක් පැමිණ තිබෙනවා. දැන් අප වැඩ කටයුතු ආරම්භ කරමු.
බුදු දහම අනතුරේ – ශාසනය නැති වෙනවා යන දේශපාලන සටන් පාඨය නිසා සැබෑ ප්‍රශ්න යටපත් වී තිබෙනවා. මෙය අලූත් දෙයක් නොවෙයි. මේ ගැන හැමදාම කතා කළා. කවුරු මොනවා කිව්වත් 1977 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වූ පසුව අප පන්සල්වලට උදව් උපකාර කිරීමට කටයුතු කළා. 2002 වසරේ දී මහා විහාරය දියුණු කළ යුතු යැයි මා පැවසුවා. මා නැවත අගමැති ධූරයට පත්වන තුරු කිසිවක් සිදු වූයේ නැහැ.

රාජපක්‍ෂ රෙජීමය සමයේ මල්වතු මහ නාහිමියන්ට තර්ජනය කළා. ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව මල්වතු පාර්ශ්වය දෙකට කඩන බවට තර්ජනය කළා. එමෙන්ම දළදා මාළිගාවට බෝම්බ ගහනවා කිව්වා. මීට වඩා ලොකු අපරාධයක් තිබෙනවාද? ඔවුන් සංඝ භේදයක යෙදුණා. ඒ අවස්ථාවේ දී මමත් ප්‍රකාශයක් කළා. මාධ්‍ය මේ පිළිබඳව කතා කළේ නැහැ. අවසානයේ දී මා ආර්. සම්බන්දන් මහතාගෙනුත් මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක්දැයි විමසුවා. මෙල්වතු මහනාහිමියන්ට ගරු කළ යුතුයි. මේ කළ ක්‍රියාව වැරදියි. අපට බුදු දහම ගැන ප්‍රශ්නයක් නැහැ. අපට අවශ්‍ය අපේ ස්ථාන ආරක්‍ෂා කර ගැනීමයි. එම නිසා මෙම තර්ජනය සම්පූර්ණයෙන් වැරදියිෙ යැයි කියමින් සම්බන්දන් මහතා එම ක්‍රියාව හෙළා දැක්කා. එදා එලෙස කියූ සම්බන්දන් මහතා අද බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවාට විරුද්ධ වේවි යැයි මම නම් සිතන්නේ නැහැ.

සම්බන්දන් මහතා එලෙස කියන කොට එදා ෙදිවයිනෙ පුවත්පත කිව්වේ කුමක්ද? අද ඔවුන් දඹුල්ල විහාරය වෙනුවෙන් ගොඩක් ඉදිරියට එනවා. එදා ඔවුන් රාජපක්‍ෂ රෙජීමයට කඩේ ගියා. කැළණි විහාරයේ පුරා විද්‍යා සිතුවම් ද අප සංරක්‍ෂණය කරනවා. එසේ නම් අප කැළණිය විහාරයත් වසා දැමුවා යැයි කිව යුතුයි නේද? දඹුලූ විහාරය වසා දමා නැහැ. මේක නිකං පත්තරවලින් ගන්න හදනවා, විකිණෙන්නේ නැති නිසා. ඔය පත්තර එදා කළේ කුමක්ද? මල්වත්ත විහාරය කඩන්න යනවා යැයි එදා පුවත්පත් සිරස්තල දැම්මාද? කතුවැකි ලිව්වාද? නැතිනම් රාජපක්‍ෂ සරණං ගච්චාමි යැයි කිව්වා ද? මේ කෑගසන බොහෝ අය එදා කළේ කුමක්ද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටවත්, අපටවත් මේ ස්ථානයට මැදිහත් වීමට අවශ්‍ය නැහැ. මල්වතු – අස්ගිරිය ඇතුලූ සංඝ සමාජයේ ආශිර්වාදය ඇතිව අප වැඩ කටයුතු කර ගෙන ගියා. දැන් ප්‍රකාශ නිකුත් කරන අය එලෙස ආශිර්වාද ඇතිව වැඩ කළ අය ද? මේ කතාව පාර්ලිමේන්තුවේ දී පැවසූ පසු වාද කරන්නට කිසිවෙකුත් ඉදිරියට ආවේ නැහැ.

මල්වත්ත පාර්ශ්වය නැති කරනවා යැයි පැවසීමට ආණ්ඩුවකට හැකියාව තිබේ නම්, රටේ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් කතා කිරීමට බය වෙනවා නම් තවත් කරන්නට තිබෙන්නේ කුමක්ද? බුදු දහම නැති කරන්න කාලිංග මාඝ අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් ඒ අවස්ථාවේ නිෂ්ශබ්දව සිටි අය දැන් මේ ගැටළුව මුල් කරගෙන ආණ්ඩුවට පහර ගැසනවා. එය නැවැත්විය යුතුයි. එසේ නොවුනහොත් තවත් කරුණු හෙළි කිරීමට අපටත් සිදුවේවි. රට තුල විසදා ගතයුතු වෙනත් ගැටළු ගණනාවක් තිබෙනවා. වෙහෙර විහාර පාලනය කිරීමට හෝ මැදිහත්වීමට අපට බලයක් නැහැ.

1931 දී පිං පෙට්ටි පිළිබද නීතිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේ රටේ බෞද්ධ නායකයෙකු වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායක ලෙස කටයුතු කළ ඩී.බී. ජයතිලක මැතිතුමායි. මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියළු දෙනාම ඊට ප්‍රසංශා කළා. 1960 වසරේදී බණ්ඩාරනායක මැතිනිය විසින් කැළණිය විහාරයේ පිං පෙට්ටි සියල්ල සීල් කළා. එම මුදල් විහාරස්ථානයට ලබාදුන්නේවත් නැහැ. එම මුදල් නැවත ලබාගැනීමට හැකිවුනේ 1965 දී ඩඩ්ලි සේනානායක මැතිතුමා අගමැතිවීමෙන් අනතුරුවයි. ඔබ සියලූ දෙනා මෙම කරුණු කිසිවක් දන්නේ නැහැ. එවකට අප එම වැඩකටයුතු සිදුකළේ දිවයින පුවත්පත ආරම්භ කළ උපාලි විජේවර්ධන මහතා නිලමේ ලෙස කටයුතු කරන අවධියේයි. එම නිසා පිං පෙට්ටි සීල් කිරීම ආරම්භ කළේ කෙලෙසදැයි පළමුවෙන්ම දිවයින පුවත්පතෙන්ම විමසා සිටිය යුතුය.

වෙහෙර විහාර පාලනයට මැදිහත්වීමට අපට කිසිදු වුවමනාමක් නැහැ. නමුත් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම ගිහි හෝ පැවිදි වේවා අදාල අමාත්‍යවරයා සතුයි. එමෙන්ම යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ලෙස නම් කර ඇති ස්ථාන ආරක්ෂා කිරීමට අමාත්‍යවරයාට විශාල වගකීමක් තිබෙනවා. නමුත් මේ කිසිදු කටයුත්තක් වෙහෙර විහාර පාලනය සමග ගැටුමක් ඇතිකර ගනිමින් හෝ ජනතාවගෙන් සඟවා සිදුකිරීමට අප කටයුතු කරන්නේ නැහැ.

ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්වනවාද නැද්ද යන්න විහාරස්ථානය තීරණය කළ යුතුයි. අමාත්‍යවරයා එය තීරණය කරන්නේ නැහැ. ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් අස්ගිරි මහනායක හිමියන් හමුවී එය දැනුම් දෙන්න. පසුව අප එය යුනෙස්කෝ සංවිධානයට දැනුම් දීමට කටයුතු සූදානම් කරන්නම්. අපට එහි කිසිදු ගැටළුවක් නැහැ. නමුත් ලෝක උරුම කාණ්ඩය තුල තව දුරටත් අප සිටිනවා නම් පැරිසියේ යුනෙස්කෝ සංවිධානය සහ මහනායක ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාවක් සිදුකර මේ සදහා පොදු ක්‍රියාමාර්ගයක් ගතයුතු වෙනවා. බෞද්ධ පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි ආගම් වලට සම්බන්ධ පුරා විද්‍යා ආරක්‍ෂිත ස්ථානයන් සම්බන්ධයෙන් ද මෙය පොදු වනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇතැම් අවශ්‍ය නොවන ස්ථාන දියුණු කිරීම නතර කරන බව මාද ඇතැම් අවස්ථාවල පවසා තිබෙනවා. 1890 සිට රුවන්වැලිසෑය නවීකරණය කිරීමක් සිදුව නැහැ. නමුත් ඇතැම් සිද්ධස්ථාන පිළිබදව ගැටළු තිබෙනවා නම් යුනෙස්කෝ සංවිධානයත් මහානායක ස්වාමීන් වහන්සේලාත් හින්දු පූජක පක්ෂයත්, කාදිනල්පියතුමාලාත් සමග සාකච්ඡා කර ලෝක උරුම ස්ථානයක් සදහා අවශ්‍ය අවධානය යොමු කළ හැකියි. ඒවගේම ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් එයත් සිදුකළ හැකියි. නමුත් ලෝක උරුම කාණ්ඩයට අයත් රජයේ ස්ථාන අපි ආරක්ෂා කරනවා.
ජේතවනාරාමය, අභයගිරිය, පැරණි මාළිගා, දළදා මාලිගාව, රුවන්වැලිසෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ කිසිවක් ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. එමෙන්ම හෝටර්න්තැන්න ආශ්‍රිත ප්‍රදේශයත් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය කටයුතු අප සිදුකරමින් සිටිනවා. නමුත් රජයට අයත් නොවන ස්ථාන ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් එය දැනුම් දී ඉන් ඉවත්වීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. කෙසේ හෝ 2017 වසර අවසන් වීමට පෙර ඒ අදාල වාර්තා යුනෙස්කෝ සංවිධානයට යැවිය යුතුයි. මේ වනවිට එම වාර්තා සැකසීමේ කටයුතු අප සිදුකරමින් සිටිනවා. එමනිසා ගැටළු ඇතිකරන පාර්ශව තමන්ට අවශ්‍ය තීරණය දැනුම් දුන් පසුව ඉන් ඉදිරියට කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම්. එසේ නොමැතිව මේ ගැටළුව තවත් දුර රැගෙන යාම තේරුමක් නැහැ.

මේ පිළිබදව සාකච්ඡා කර අදාල ගැටළුව විසදන ලෙස මම අමාත්‍යවරයාට පැවසුවා. නමුත් මෙම ස්ථාන ලෝක උරුම ලැයිස්තුව තුල තිබෙන තාක් එය රැක ගැනීමේ වගකීම අප සතුයි. ස්වේච්ඡාවෙන් ඉවත් වුවහොත් කාගෙන් හෝ බලපෑමක් එල්ල වන්නේ නැහැ. ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමට තරම් තත්වයක් මෙම ස්ථානවලට උදා වුවහොත් ඒවා ඉදිරියට පාලනය කරගෙන යාමට දිවයින වැනි පුවත්පත් ඔවුන්ට උදව් කරාවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

එම නිසා ආගම් සම්බන්ධ මේ සෙල්ලම දැන් නතර කළ යුතුයි. එසේ නොමැති වුවහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හොඳ බෞද්ධාගමිකයන් ලෙස අපටත් හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් වැඩි පිරිසක් ඡන්දය ලබාදුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. මෙය විරුද්ධ පාර්ශවයන් ප්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් කරන දේශපාලන සෙල්ලමක් පමණයි. එය හැර වෙනත් කිසිම අරමුණක් මෙහි නැහැ.

එමනිසා ඔබ වහන්සේලාගේ යෝජනාවලටත් අවධානය යොමු කරමින් ලෝක උරුම ලැයිස්තුව තුල තව දුරටත් රැදී සිටිනවාද නැද්ද තීරණය කිරීමට අදාල විහාරස්ථානවල මහනායක ස්වාමීන් වහන්සේලාට අපි අවස්ථාව ලබාදෙනවා. එම ගැටළුව අප එසේ විසදීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම 1931 හැන්සාඩ් වාර්තාව මා ඔබ වහන්සේලා වෙත ලබා දෙන්නම්. එම හැන්සාඩ් වාර්තාවේ විහාර දේවාලගම් පණත ඉතාමත් හොදින් ඇතුලත් කර තිබෙනවා. එහි වෙනස් කිරීමට කරුණු නොමැති තරම්. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ අප එක් වෙනස්කමක් පමණක් එහි සිදු කළා. එනම් මහාභාරකාර තනතුර වෙනුවට බෞද්ධ කටයුතු කොමසාරිස් තනතුර ඇතුලත් කළා. එවිට මහාභාරකාර තනතුර සිදුකරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් එම තනතුරට නිලධාරින් පත්කිරීම ආගම් පිළිබද සලකා නොව දක්ෂතාවය පිළිබද සලකා සිදුකිරීමට අපට ඉන් හැකියාව ලැබුණා. එය ගැටළුවක් වූයේ නැහැ.

මෙය රටේ විශාල ගැටළුවක් ලෙස ඉදිරියට ගෙනයාමට තරම් දෙයක් නොවේ. මෙලෙස සාකච්ඡාවට පැමිණීම ගැන ඔබ වහන්සේලාට මා ස්තුතිවන්ත වනවා. මේ සම්බන්ධව රජයේ ඉදිරි වැඩකටයුතුවල සාර්ථකත්වය පිළිබදව අපව දැනුවත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා.

සාකච්ඡාව අවසන් කරමින් අදහස් දැක්වූ තරුණ භික්ෂූන් වහන්සේලා මෙසේ පැවසූහ.

අද අරලියගහ මන්දිරයට අප වැඩම කළේ ආලවක දමනයක් කිරීමට වෙයි යැයි සිතාගෙනයි. නමුත් අගමැතිතුමා සමග කළ සාකච්ඡාවේදී එතුමා දමනය වී අවසන් බව අපට වැටහුණා. එතුමාගේ මැතිවරණ ප්‍රකාශය මෙහිදි අපට ලබාදුන්නා. එහි අවසානයේ “අප නිර්මාණය කරන්නා වූ ආණ්ඩු ක්‍රමය සම්මුතිය පදනම් කරගත් එකක් විය යුතුයි. එහිදි රාජ්‍ය පාලනය සම්බන්ධව බුදුන් වහන්සේ වදාල කරුණු සැලකිල්ලට ගැනීම සුදුසු බව අපගේ අදහසයි.“ යනුවෙන් සදහන් වනවා.

ඒවගේම එහි අවසානයේ වෙජ්ජීන්ගේ රාජ්‍යයේ සශ්‍රීකත්වයට හා තිරසර පැවැත්මට හේතු වශයෙන් බුදුන් වහන්සේ දැක්වූයේ සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් රාජ්‍ය පාලනය කිරීමට මෙය අදටත් වලංගු සත්‍යයක් ලෙසෙ සඳහන් වෙනවා.

එසේ නම් අපට ගහ මරා ගැනීමට තරම් ගැටළුවක් මතුව නැහැ. අග්‍රාමාත්‍යතුමා මේ ගැටළු සම්බන්ධයෙන් ඉතාමත් හොඳ අවබෝධයකින් කටයුතු කරන බව අද අපට වැටහුණා. එම නිසා බෞද්ධාගම සම්බන්ධ කටයුතු සදහා මේ ආකාරයෙන් සංවේදීව මැදිහත්වී කටයුතු කිරීමට එතුමා දක්වන කැමැත්ත පිළිබදව අප අගමැතිතුමාට ස්තඣති වන්ත වෙනවා.

ඒ වගේම දඹුල්ල විහාරස්ථානය යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම තත්වයෙන් ඉවත් කිරීමේ සූදානමක පවතිනවා නම්, එම ලෝක උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. එම නිසා මේ අවස්ථාවේදී රජය දඹුල්ල සංරක්ෂණයට මැදිහත්වීමට අවශ්‍ය නම් එය ලෝක උරුමයක් ලෙස අනාගතයට ආරක්ෂා කරන ලෙස අප ඉල්ලීමක් කරනවා. එය ලෝක උරුමයක් ලෙස ශ්‍රී ලංකාව තුල පවතිනවාට අපගේ කැමැත්තක් තිබෙනවා. අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා මහා සංඝ රත්නයේ ආශිර්වාද ඇතිව මේ ගැටළුවට මැදිහත් වන බව අපත් සමග ප්‍රකාශ කළා. එය ඉතාමත් සාධනීය තත්වයක් බව අප විශ්වාස කරනවා.

අනාගතයේදී ගොඩනැගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිදු අවස්ථාවක බුදු දහමට ඇති ස්ථානය අහිමි නොකරන බව ගරු අගමැතිතුමා අපත් සමග ප්‍රකාශ කළා. අපත් මෙම සාකච්ඡාවට සම්බන්ධ වුනේ ඒ පිළිබදව තිබූ අවිශ්වාසයෙන් යුතුවයි. නමුත් බුදු දහමට ඇති ප්‍රමුඛතාවය කිසිදු අවස්ථාවක එතුමන් අහිමි නොකරන බව මේ වන විට අපට පැහැදිලිව ස්ථිර කර තිබෙනවා. එයත් ඉතාමත් සාධනීය තත්ත්වයක් ලෙස අප විශ්වාස කරනවා.
ඔබතුමන්ගේ මැතිවරණ ප්‍රකාශයේ සදහන්ව ඇති පරිදි “මාගේ මේ ව්‍යායාම රජ පවුලක් තැනීමට නොව හැම පවුලක්ම රජ කරවීමටයි“ යන අරමුණ වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා පෙනී සිටින තුරු බුදු දහම රැකගැනීමේ පරමාර්ථය පෙරදැරිව මේ කටයුතු සදහා සහයෝගය දැක්වීමට සූදානම්ව සිටිනවා. මේ ගැටළු නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අප ඔබතුමාට ස්තුති වන්ත වෙනවා. ඒවගේම බුද්ධ ශාසනය හෝ බෞද්ධ වෙහෙර විහාරස්ථාන හෝ වෙනත් ආගමික ගැටළු සම්බන්ධව ඇති වන අර්බුදයන් අගමැතිතුමා සමග සාකච්ඡා කර එතුමාගෙන් සැබෑ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙස රටේ මහා සංඝ රත්නයෙන් අප ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාව අපට ලබාදීම සම්බන්ධව ඔබ සියළු දෙනාට ස්තුතියි.

scroll to top